Tuesday, December 2, 2014
වස්සානය
ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වගේම හිනැහේය මා එක්ක
කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුළන් දා ඔය කිම්ද මල් වරව ඉල් මහට?
සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණු
දිය නිලන වැසි සමේ රැළි නගා උතුරාය
තඹර පෙති අතර හෙල් මැළි රේනූ වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවෙයි හුණුව ගිය ලේ ගිය නහර
දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා අණුහුමට හිරු එළිය
මිහිරි වම් කිරි වගේ පොවන්නෙමි නුඹලාට
රමණීය වන ගැබෙහි මොනරුනට පිලි වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැසි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළ්වට
කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් නුඹ මා ළඟට
වැහි වළාකුළු රංචු කඳු මුදුන් වල ලඟින
දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතිං මගෙ හෙට දවස මට දෙන්න
‘ගිම්හානයේ ගිලන් වී කෘශව සියුමැලිව
ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’
― රත්න ශ්‍රී විජේසිංහ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment