Sunday, September 13, 2015

හදවත



කහ ඉර ලඟදි අහම්බෙන්
හමුවුනා මගෙ හදවත
කොහොමද උඹට
සෑහෙන කාලෙකින් නේද මචන්
මම නැතිව දුකක් දැනුනෙ නැද්ද
නෑ මට දුකක් දැනුනෙ නෑ
අඩුම තරමෙ මාව
මතක් උනේ නැද්ද උඹට 
නෑ මට මතක් උනේ නෑ
ඇත්තමද ඔය කියන්නෙ
ඔවු ඇත්ත
මම යනව
උඹ නම් මහ හදවතක් නැති මනුස්සයෙක්
හා හොඳයි පරිස්සමින් ඉන්න



සමුදෙනු මැනවි සොඳුර








ශත වර්ශය ගෙවී අවසන්ය
ප්‍රේමයේ පාංසුකූලය නොදීම
නුඹ තවමත් හඬන්නේ මන්ද
අමතකද අතීතය දවසකදි
මිහිදන් කල සැටි අපදෙදෙන
මෙතෙකැයි කියා කියාගන්නට බැරි
කලාතුරකින් හමුවූ ප්‍රේමය
රිදුම් දෙද්දී මහපොලව
නුඹ හැරගියා නොවෙද
පරිත්‍යාගයක් බව දැන දැන ගහකොල
පවා වචනයක් නොකියූ
ගෞරවය රකිනු මැනවි සදා කල්හිම
ඉතින් සමුදෙනු මැනවි සොඳුර
දැන් නිදන්නට අහිංසක ප්‍රේමයට








සොඳුර නුඹ දන්නවාද

 
 
 
සොඳුර නුඹ දන්නවාද
පල්ලියේ කඩේලඟ
මල් වැලක් ගෙන ඇවිත්
නුඹේ හිසපළදින්න
මා පෙරුම් පිරූවග
හිනහුනා නුඹ එවිට
දෙමලදැයි  ඇසුවාය
 
සොඳුර  නුඹ දන්නවාද
දකින්නට තහනම් කල
හීනයම මා දකින බව

තවම මා ආදරේ බව











Thursday, September 10, 2015

එනව මං සත්තමයි අද රෑට

Sad Wallpapers Of Love Boys (30) 


මං නුඹට ඇවසි බැව්
නොදනිමියි මා තවම
හිත  රිදෙන හසුන් පත්
එක දිගට එවුවාට
කප්පරක් දුක් කඳුලු
දැනෙවා මේ හිතට
ලඟ ඉන්න සනසන්න
නෙත කඳුලු පිසලන්න
හිත දුවන් එනවා
සත්තමයි අද රෑට
අයිතයක් නැති බැවින්
ලෝකයෙන් සැඟවෙන්න
උත්තරත් හොයාගෙන
එනව මං
සත්තමයි අද රෑට




Wednesday, June 10, 2015

මොනාලිසා





 
  
 
නොවැටහුනා විය හැකිය එය
සිනහවද කඳුලද යන වග
ඩාවින්සිට එදවස නුඹගේ
නමුත් දනිමි අද නිසැකවම
නුඹ හඬන බව
..............!
 

Thursday, May 21, 2015

නපුරු සඳ දෙවු දුවක්

 
 
එකම එක දවසකදි
සුසුම්ලන විට අහස
කලුපාට ගුරු පාර
හිරිකඩින් මඩ උනා
කුඩේ යට සැඟව ගිය
නුඹේ මන්දස් මිතිය
මහ වැස්සෙ තෙමි තෙමී
මම බලා උන්නා
 
ආදරේ පුරෝගෙන
ඉකි ගසන විට අහස
නපුරු සඳ දෙවු දුවක
කඳු අතර සැඟවුනා
දන්නවා මොහොතකට
දුක හිතුනෙ නැති බවත්
අහස වාගෙම මමත්
හිත හදා ගත්තා
 
 
 
 

Monday, March 30, 2015

නුඹවත් මට දැන් අමතකය









බලා හිඳමි මම දුර ඈත
බොඳ වූ නුඹේ රුව දෙස
කාස්ටය දරාගෙන නුඹ යන දුර ඈත
වස්සානය තව දුරද නුඹේ දෙපයට
නමුත් මම මෙතැනම හිඳින්නෙමි
නිකමට සිතෙයි නුඹ තාමත් එකම තැන බව
වස්සානය මට දැන් අමතකය
නුඹවත් මට දැන් අමතකය

Wednesday, January 21, 2015

ගිටාරය මියෙන තුරු

Classic guitar on wall Wall Mural
 
මල්හාර රාගයට 
Heavy Metal Mix කරල
මම හදපු මගෙ තනුව
පසක්කර දුනිමි මට
නොගැලපිය හැකි දේත්
ඇතිබවට මිහි තලේ
නුඹේ සෙනෙහස වගේ....
 
එන්න අපි ගලපමුද
මට නුඹට නොවැටහෙන
උමතුවට එහා ගිය
අපි හදපු අපෙ තනුව
හැරෙන්නට බැරි නිසා...
 
තත් සිඳුනු කලුවරක
ගිටාරය මියෙන තුරු....


 

Tuesday, January 20, 2015

එන්න අපේ නිරුවත දකින්න - ධනංජය කරුණාරත්න ගේ බුද්දිකයාගේ ජීවිතය







අපට නොදැනීම අපව විකිනෙනවද. අපි ජීවත් වෙනව කියල කියන්නෙ අපි අපිවම  අනුන්ට විකුනන එකද
අපේ නිරුවත අනෙකාට පෙනෙයි කියල අපි හරි බයෙන් ඉන්නෙ.
ධනය බලය සමාජ තත්වය වගේ ඇදුම් වලින් අපි අපේ නිරුවත වහගන්න අපි කොච්චර ලොකු සටනක් කරනවද.
අපේ නිරුවත අනික දැක්කොත් අපි කොහොමද අපිව විකුන්නනෙ දෙයියනේ.
අපිට මේ ලෝකෙ හෙලුවෙන් ජීවත් වෙන්න ඉඩක් නැද්ද.
කෝ ඒ ලස්සන සුන්දර සමාජය.අපිව දාල අනෙක් උන් ඔක්කොම ගිහින් නේද .
පොඩ්ඩක් හිටපල්ල මටත් විකිනෙන විදියක් කියා දීපල්ල.

"මේ මල සහ නොමළ මිනිසුන් මිල කල මාකට් එකේ
   මටත් විකිනෙන විදියක් කියා දෙන්න"


"මහ පුදුම දෙයක්නෙ වෙලා තියෙන්නෙ.හරි අමාරුයිනෙ අපි ඉන්නව කියන එක අනික් එකාට ඒත්තු ගන්නන්න.
මිනිහෙකුට කරන්න පුලුවන් ලොකුම අසාදාරනේ තමයි ඒ මිනිඑ ඉන්නව කියල පිලිගන්නෙ නැති එක.
අපි මේ හැම මගුලම කරන්නෙ අනික් එකාට මං ඉන්නව කියන එක දනවන්න නෙවෙයිද?
 පෙම්වතා පෙම්වතිය ඉඹගන්නකොටත් බල්ල උගේ ස්වාමිය ලෙවකන කොටත්
ඒකෙන් කියන්නෙ මං ඉන්නව කියන එක"  (බුද්දිකයා)


"දෙයිහාමුදුරුවනේ මම කවදාවත් කල්පනා කරල තිබ්බෙ නෑ මගෙ බඩුමුට්ටු ටික කවද හරි
මොකෙකුට හරි විකුණල දානව නම් ඒකෙ ගාන කීයද කියල.
මම කවදාවත් හිතුවෙ නෑ මගේ ජීවිතය විකුනන රංගනය අද මෙතන රඟපායි කියල.
අමතක කරන්න එපා අද අපි හැමෝම අපිව විකුනන නාට්්‍යක  අපේම චරිත රඟපාන්න දාල තියෙන නලුවන් පමණයි කියල " (බුද්දිකයා)

"ජීවිතයම වෙළද පොලකි.අපි ඒ වෙළදපොලේ බඩු ගන්නෝ සහ විකුන්නෝ පමණයි" (බුද්දිකයා)

"අඩුම ගානෙ මිනිහෙක් අනික් එකා එක්ක හිනා වෙන්න බයයි
මෙතන ඉන්න ගොඩක් අයට කාගෙවත් උදවුවක් නැතිව
ජීවත් වෙන්න පුලුවන් තත්වයක් තියනවා.
මං ඒ කාත් එක්කවත් හිනාවෙනවට මිනිස්සු හරි බයයි
මොක්ක හරි උදවුවක් ඉල්ලයි කියල.
හැම එකාම අනිකව තියාගෙන ඉන්නෙ අතේ දුරින්"

"ඔයාගෙ කලිසම කීයද ඇහුවොත් කාරෙක කීයද ඇහුවොත්
කොන්ඩෙ කපන්න කීයක් ගියාද ඇහුවොත්
බොරුවට ලොකු ගන්න කියනවා
මිනිහෙකුගෙ ඩිග්නිටිය කියන්නෙ ඒකද" (බුද්දිකයා)

"මේ වගේ වෙනස්කම් කරන සමාජෙක අපි පන බේර ගන්නෙ ඇදුම් ඇතුලට ගිහිල්ල
ඒ නිසා තමයි මෙතන ඉන්න හුඟක් දෙනෙක් ගෙදරට අදින සාමාන්‍ය ඇදුම නැතුව
ඊට වැඩිය මිලෙන් වටිනා ඇදුමක් ඇදගෙන ඇවිල්ල ඇවිල්ල තියෙන්නෙ". (බුද්දිකයා)



"අනික් වැදගත්ම කාරනය තමයි මොන පැත්තෙ එකෙක්ද කියල හොයාගන්න බැරි වෙන්න
ඉන්න පුලුවන් නම් තවත් ලාබ හොයා ගන්න පුලුවන්" (බුද්දිකයා)

"මෙන්න මේ වගේ කිසි තේරුමක් නැති ලටපට ගොඩක් සමග මං මගේ ජීවිතේ හරි මැද අනාතයි" (බුද්දිකයා)


පුංචි බොනික්කිට





 
"මොරගාන හීතලක
නුඹ ආයෙ ආවාද
ඇගේ මතකය අර්න්
මට ආයෙ රිදවන්න
මූසල පාලුව නුඹය
කනමැදිරි එලියෙනුත් මම මකා ගත්ත
හිතපුරා වෙන ඉඩක් නොතබා
ඇයට දුන් ආදරය මතක්කර ලන්න
නුඹ ආයෙ ආවාද ."



මට හිතාගන්න බෑ තාමත් මොකද
උනේ කියල ඇස් ඉදිරිපිට බොඳවෙලා යද්දි මගෙ ආදරේ 
එක තප්පරයකින් විනාඩියකින් . මන් දන්නව ඒක මගෙ වැරැද්ද.
ඒ මගෙ පුංචි බොනික්කි.
ඔවු පුංචි බෝනික්කි මං එයාට කිවුවෙ PB කියල.
මහා ලොකු කාලයක් අපි ආදරේ කලේ නෑ.
එයා කසාද බැදල ඇවිත් මට වැදල ගියා.මන් තාප්පයක් උඩ නැගගෙන ඔහේ බලාන හිටිය
ඒ ඊයෙ රෑ මන් දැකපු හීනෙ.මහ රෑ ඇහැරගෙන මං කල්පනා කලේ ඒ හීනෙ ගැන.
අන්තිමට හැමෝම මාව දාල ගිහින්.අන්තිමට මම නේද තනි උනේ.
මම මේ වෙනක්න් ඈට කතා කලේ නෑ.මං හරි බයයි.
මං හරි බයයි මං ඒ කෙල්ලට ආයෙත් ආදරේ කරන්න පටන් ගනියි කියල.
මට මාව විශ්වාස නෑ.මන් ආයෙත් ඒ කෙල්ලට කරදර කරාවි ආයිත් මන් msg කරාවි.
ආයිත් ආදරේ මාව අසරන කරාවි.ඉවසන්න බැරිවෙයි මට.
කීපාරක් නම් මම මගේ සිම් එක වෙනස් කරාද ආයෙත් එයාට කතා කරන්නෑ කියල හිතල.
ඒත් ඒ වෙනස් කරපු හැම සිම් එකකින්ම මම PB ට කතා කලා‍.
මට එයාට කතානොකර ඉන්න බැරි උනා.දැනුත් මං හරි බයයි.
ඇයව දකින්න මං බයයි ඇයට කතා කරන්න මං බයයි .
ඒ නපුරුකමට නෙමේ  ඇයව එක පාරක් දැක්කොත් දකින් නැතිව ඉන්න බැරි වෙයි මට.
එක පාරක් කතා කලොත් කතා නොකර ඉන්න බැරිවේවි මට.ආයෙ ආදරේ හිතේවි මට.
එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්ත .
ඒක මට අස්වැසිල්ලක් උනා මගෙ හිත හදා ගන්න.
මතකද මම ඉස්සර ගල් බංකුවට වෙලා පුංචි PB නටනව බලාන ඉන්නව.
ඒ මගෙ PB තුරුලු කරගන්න ආසාවෙන් හිටපු මං ලග හා පැටියෙක් වගේ ඇහිපිය හෙලපු PB
මොකුත් නොකියම ගොඩක් දේ තේරුම් කරල දුන්න PB.
පුංචි දේකටත් ඇස්වල කඳුලු පුරෝ ගත්ත මට ගලක් වගේ ඉන්න පුරුදු කලේ පුංචි බෝනික්කි ඔයා.
එක හොදයි මගෙ චූටි මැනික දැන් මම අඩන්නෙ නෑ ආයිත්.
මගෙ පුංචි බොනික්කිට තුනුරුවන්ගෙ සරනයි......!

 
 

Friday, January 9, 2015

අළුත් ආරම්භයක්...

අළුත් ආරම්භයක්...



නින්ද ගියා නෙව පුටුව උඩම...

නැගිටලා බලද්දි මෙන්න මහින්ද මහත්තයා අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව ගියාළු... ප්‍රතිඵල දැනට තියෙන තත්වේ අනුවනං තාමත් මෛත්‍රී උන්නැහේ දිනලා කියලා පේන්න නැහැ.. ඒත් අපිට වඩා මොනවා හරි දැනගෙන වෙන්න ඇති නෙව උන්නැහේ පිටත්වෙලා ගියේ...

කොහොම උනත් කමක් නැහැ... නිල වශයෙන් නැතත් දැනට මහින්ද මහත්තයා පරාද වෙලා කියන තැන ඉඳලා කතා කරමු...

බොක්කෙන්ම කියනවනං...

පලවෙනිම දේ තමා කියන්න ඕන.. මේ තරං බොරුවට මිනිස්සු රැවටුන අවස්ථාවක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිම වෙලාවක තිබුනද කියන්න මම දන්නේ නැහැ... අග ඉඳලා පටන් ගත්තොත්... පැරදිලා කියලා තාමත් හරියටම නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැති තත්වයක් උඩත්.. උන්නැහේ නිල නිවසින් පිටත් වීමම ගතෑකි.. මොකද අපේ අයියලා මේ අන්තිම තත්පරේ වෙනකල්ම කිය කිය හිටියේ පැරදුනත් මහින්ද යන්නේ නැහැය.. ගෝඨාභය ලවා හමුදාවෙන් දාලා හරි බලේ අල්ලගෙන් හිටීවිය වගේ පට්ට පල් කෙබර... ඒත් වචන වලින් නෙවෙයි එතුමා ක්‍රියාවෙන්ම පෙන්නුම් කරලා තියෙනවා එහෙම හරි හෝ වේවා.. වැරදි හෝ වේවා.. ජනතා කැමැත්තට පිටින් අකටයුතුකමක් කරන්න සූදානමක් හෝ තිබී නැති බව.. යූඇන්පී පාක්ෂික බොරු හමුදාව මොනවා කිව්වත්.. එතුමාගේ මේ පිටවීමම අගය කල යුතු කාරණාවක්... තවත් සමහරු කිව්වේ ඉතිරි අවුරුදු දෙක ගැන නීති තර්ක ගෙනල්ලා ඉදියි කියලා.. දැන් එහෙම කතාවකුත් නැහැ... ඒ තමා අගින් ගත්තම හොදම උදාහරණය මහින්ද ගැන මේ මිනිස්සු මොන තරම් බොරුවක්ද කිව්වේ කියලා... තවත් අග ඉදලා එහාට ගියොත්... මැතිවරණය... මැරිලා ඉපදුනේ නැති.. සහ අතීතය හොදින් දන්න කාට උනත් මේ මැතිවරණය දූෂිත අසාධාරණ එකක්ද කියලා කල්පනා කරලා බැලියැකි... අපි මේ රටේ ඡන්ද ඕන තරං දැකලා තියෙනවා.. මට ඡන්ද ගැන මුල්ම මතකය ඉතාමත් හොදින් තියෙන්නේ ජනාධිපති ප්‍රේමදාස බලයට පත් වූ මැතිවරණයේ පටන්... එදා ඉදලා මේ දක්වාම තිබ්බ ජනපතිවරණයකදී මේ තරම් සාධාරණව තිබුණ ජනපතිවරණයක් දැකලා තියේද කියලා කාට හරි කියන්න පුළුවන්ද..?

කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මැකෝ හොද හින්දා හොඳට ගියා කියලා... ඒත් මැකෝ කොච්චර හොද උනත් විධායක ජනපතිවරයා තමන්ගේ බලය අත්තනෝමතිකව භාවිතා කලා නම් සහ ප්‍රචණ්ඩව හැසිරුනේ නම් මැකෝ මොන මගුල කලත් මේක මෙහෙම අවසාන නොවෙන තැනට වැඩ කෙරෙන්න ඕන තරම් ඉඩ තිබුනා.. ඒත් ඒ කිසිම දෙයක් එහෙම උනේ නැහැ.. සාධාරණ මැතිවරණයක්.. සාධාරණ නික්ම යෑමක්...

එතකොට කෝ මෙච්චර වෙලාවක් මහින්දට කරපු චෝදනා.. මැතිවරණය ගැන...

දැනට වසර කිහිපයක සිටම මහින්ද හා සම්බන්ධව කෙරුණු මේ වගේ මඩ ප්‍රචාර දිනෙන් දින වර්ධනය වෙමින් ඇවිත් අවසානයේදී ඒවා නිර්මාණය කල උන් පවා ඒවා බොරු කියා පැවසූවත් එය පිළිනොගන්නා තත්වයට ඒ බොරුව මේ රටේ පැලපදියම් කරන්න ඒවා නිර්මාණය කල අයත්.. ඒවා සමාජය පුරා බෙදා හැරිය අයත් සමත් උනා... මේක තමයි අවසාන ප්‍රතිඵලය...

අඩුපාඩු නැති මිනිස්සු ලෝකේ නැත.. ඒත් ඒ අඩු පාඩු අපි දැකිය යුත්තේ ඒ මනුස්සයගේ තියෙන හොද පැත්ත එක්ක සංසන්දනය කරන ගමන් මෙන්ම.. ඔහුට සාපේක්ෂව අනිත් පසින් සිටින පුද්ගලයින් ගැනද කල්පනා කොටයි... එහෙම බලද්දි මහින්දට උනේ ඔහු සතුරාටත් මිතුරු හස්තය දිගු කිරීමත්.. විරුද්ධවාදියාටත් හිතවත් කම දක්වා ඔවුන්ව දිනා ගන්නට ගත් උත්සහය වතුරේ යෑමයි... දුදනන් හට කුමන ආකාරයෙන් දයාව පෑවද ඔවුන් සුදනන් වන්නේ නැත... ඒ හැර ඔහුගේ බොරු කාරයින් කියා පෑව තරමේ භයානක කමක් තිබුනේ නැහැ කියා සාධාරණව සිතිය හැකියි...

විශ්වාසය තැබිය නොහැකි අවස්ථාවාදී සුළු ජාතික නයි රෙද්ද අස්සේ දමා ගැනීමත්... විරුද්ධ පාක්ෂිකයින් ගැන උවමනාවට වඩා විශ්වාසය තැබීමත්... තමා ජයග්‍රහණය කරවූ පිරිසට පක්ෂග්‍රාහී නොවී.. සියල්ලටම මැදිහත්ව කටයුතු කරන්නට යාමත් ඔහුගේ විපතේ මූල බීජයයි... ඒ අතරතුර අගේ ඉඳන් කන කන්නවුන්ද බහුල විය... අවසානයේදී ඔහුට එවැනි දුර්ජනයින්ගෙන් නිසි සැලකුම ලැබිණි...

කෙසේ වෙතත් මේ මැතිවරණ ප්‍රතිඵලය අපට පැහැදිලි පණිවිඩයක් දී ඇත.. ඒ.. තව දුරටත් මේ රටේ පාලනය හිමි වන්නේ මහජාතියේ උවමනාවටත් වඩා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇති අයට බවයි... උතුරින් නැගෙනහිරින් බලය ලබා ගැනිමට සමත් වන අයකුට මිස.. දකුනෙන් බහුතර බලය ලැබෙනා අයකුට පාලනයට ඒම තව දුරටත් මෙරට තුල අවස්තාවක් නැත... දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි.. මේ සිංහලයාගේ විපතේ ඇරඹුමයි.. 2015 වර්ෂය ඉතිහාස ගත වන වර්ෂයක් බවට පත් වේ... අද දිනය සිංහලයාගේ මෑත කාලීන ඉතිහාසයේ අඳුරුම දිනය ලෙසින් සටහන් තබා ගත්තාට වරදක් වන්නේ නැත... වැඩි කාලයක් නොගොසින් බෙදුම්වාදීන්ට මේ රට ගොදුරු වී රටේ සාමය නැතිව ගියහොත්... එදාට අද මේ වෙනස කරන්නට දත කෑ... සියළු දෙනාම වගකිව යුතුය... අද මහින්ද පරදවා සුළුජාතිකයින්ගේ කැමැත්ත මත තීරණය වූ නායකයකු ගෙන එන්නට දායක වූ ඔබ සියළු දෙනාගේ හිස මත ඒ තීරනයේ වගකීම වැටී ඇත... කිසි විටකත් අනාගතයේදී මොන ආකාරයෙන් ඔබලා වෙනස් වූවත්.. අද කල කාරියෙහි වගකීම ඔබගෙන් පහව යන්නේ නැත... මේ කාරණාව සිහියේ තබා ගැනීම වැදගත් බව කියමි. මෙම තිරණයේ විපාක ඔබට පමණක් නොව ඔබගේ දරු මුණුපුරන් පිටත් වැටෙන දවසක් එළඹියහොත් එදාට ඒ ගැන ඔබගේ සිත ඔබටම දෙස් දෙනු ඇත... අන් සියළුම දේට වඩා හෘදසාක්ෂිය බලවත්ය... මාගේ මේ ප්‍රකාශයට උසුළු විසුළු කිරීම හෝ.. එයට විරුද්ධව කරුණු කියා පෑමට ඔබට හැකියාව ඇත.. එයට මා කිසිවක් නොකියමි... තම තමාගේ සිත්වල 2015 ජනවාරි මස නව වැනිදා දවසක උදෑසන මෙහෙම දෙයක් මෙහෙම එකෙක් කිව්වාය කියා මතකයේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත්ය...

එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ විශිෂ්ඨම නායකයා අද දින සිය තනතුර හැරදා පියා පිටව ගොස් ඇත... ඔහු යළි බලය වෙනුවෙන් සටන් කරන්නේද නැද්ද යන්න මා නොදනිමි.. නමුත් ඔහු රට වෙනුවෙන් නැවත සටන් කරන්නට පිවිසෙන්නේ නම් මා ඔහුට හැකි ආකාරයකින් සහය වෙමි... එහි කිසිදු සැකයක් නැත... නමුත් තව දුරටත් මෙම රට තුල ජීවත් වන්නට මාගේ අදහසක් නැත... ලැබෙනා පලමු අවස්ථාවෙන්ම මෙයින් පිටත්ව යමි... එනමුදු ලොව කොහේ සිටියත් මහින්ද කෙරෙහි ඇති මාගේ විශ්වාසය හෙට දිනත් එසේම පවතිනු ඇත. මහින්ද මෙන්ම ඔහුගේ නික්ම යාමත් සමඟ අපට අහිමිව යන අනිත් ප්‍රධාන පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂයන්ටත් මාගේ ස්තූතිය ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමි... ඔබලා දෙපල අපගේ රටට පහල වූ යුග පුරුෂයින් දෙදෙනකු බව අදත් හෙටත් මා අවිවාදයෙන්ම පිළිගන්නා අතර.. ඔබලාගේ සටනකට මා මට හැකි ආකාරයකින් සහය ඉදිරියේදීද දක්වන බවත් කියා සිටිමි.

මහින්ද රාජපක්ෂ... නායකයාණෙනි..
මා මෙතෙක් කල් ඔබට ආමණ්ත්‍රණය කලේ මහින්ද අයියා.. මහින්ද මහත්තයා යන සරල ආමණ්ත්‍රනයන්ගෙන් බව කිව යුතුය.. ඒ ඔබට අඩුවක් කිරිමට නොව.. ඔබට මාගේ සිතෙහි ඇති සමීපත්වය නිසායි.. ඔබ සහෝදරයකු... හිතවතෙකු හැටියෙන් සලකා කටයුතු කිරීම නිසාම එම ඇමතීම කල අතර.. අද මේ තනතුරෙන් ඉවත්ව යන මොහොතේ ඔබට නිසි ගෞරවය දැක්වම පිණිස ඔබට ගරු නායකයාණෙනි යන ආමන්ත්‍රණය කරමි...
ගරු නායකයාණෙනි.. පණ ඇති තෙක් මේ පොළවේ හා මෙහි වෙසෙනා මිනිසුන්ගේ දියුණුව පිනිස සටන් කිරීමට ඔබට හැකියාව හා ධෛර්ය්‍ය හිමි වේවා... මෙහි උපන්නත්..මේ මහ පොළවේ බිම් අගලක අයිතිය නැති... ඉන්න හිටින්න ස්ථිර තැනක් නැති... රකින්නට දේපලක් උරුමයක් කිසිත් නැති...කොටින්ම ඡන්ද අයිතියක්වත් නැති බොහෝම සරල දිවි පෙවතක් ගෙවන සරල මනුස්සයෙකුගේ හිතවත්කම හා ලෙන්ගතුකම ඔබ සතුය... ඔබට එය ලොකු දෙයක් නොවන්නට පුළුවන.. එහෙත් මේ කුඩා මිනිසාට එයට වඩා ඔබට දෙන්නට දෙයක් මේ මොහොතේ නැත... මගේ ආදරය ගෞරවය හා විශ්වාසය සැමදා ඔබ කෙරෙහි වේ.. ඒ මා සතු ලොකුම ධනයයි... ඉඳින් එයින් ඔබට පුදමි... මගේ රට යුධ බියෙන් නිදහස් කරලන්නටත්... සාමය ඇති කරලන්නටත්.. පරිහාණියේ පතුලට වැටී තිබූ රට යම් කිසි ස්ථාවර තත්වයක් දක්වා දියුණු කරන්නටත් ඔබ ගත් උත්සහයට නැවත නැවතත් ස්තූති වන්ත වෙමි... රටේ අනාගත පරපුර වෙනුවෙන් ඔබට ස්තූති වන්ත වෙමි... ඔබට සුභ අනාගතයක් වේවා..!

------------------------------------------

පෞද්ගලික වශයෙන් ගත් කල මට රකින්නට පරපුරක් හෝ කිසිවකු නැත... ජීවත් වූ කාලය තුල අත්වැරදීම්.. ඇතත්.. හැකි සෑම විටම නිවැරදි ජිවිතයක් ගත කරන්නට උත්සහ කල අයෙක්මි.. කිසිවකුට ණය නැති... කිසිවකුට වංචා කර නැති අයෙක් ලෙසින් ජීවත්වන්නට උත්සහ කල තැනැත්තෙක්මි... කිසිම කාරනාවක් නිසා පෞද්ගලික වාසියක් පිණිස කටයුතු කර නැත්තෙමි... දේශපාලන පිළිබඳව කතාවෙන් වූවද මා හට මෙතෙක් වැඩි වශයෙන් ලැබී ඇත්තේ ගැරහුම්.. අවලාද හා නින්දා කිරීම් පමණකි.. ඒ සියල්ල අබිමුවෙහි හැකි උපරිම ශක්තියෙන් මගේ මතය වෙනුවෙන් පෙනී සිටියෙමි.. ඒ හැර සත පහක ලාභයක් පිනිස හෝ මා මාගේ දේශපාලන මතවාද ඉදිරිපත් කර නොමැත... පවතින රජයෙන් හෝ.. පැවති රජයකින් හෝ අබ ඇටයක වාසියක් ලාභයක් ලබා නොමැත.. එසේ ලබන්නට අදහසක්ද නැත. හුදෙක් රට ගැන ඇති ආදරයත්.. සිංහල ජාතිය ගැන ඇති හැගීමත් නිසා කටයුතු කලා පමණකි... ඉදිරියටත් මා හට හැකි පමණින් එම කාර්යයන් හී නිරත වන අතර.. කිසි විටකත් පරාජය හමුවේ සැගවෙන්නේ නැති බව කිව යුතුය... එසේම දූෂිත මැතිවරණයක්... හොර ප්‍රතිඵලයක් ආදී වශයෙන් ජනතා තීන්දුව ප්‍රතික්ෂේප කිරීමක්ද මාගෙන් වන්නේ නැත.. සාධාරන හා සාමෙකාමී රටක පැවති ඉතාමත් සාදාරණ ඡන්දයකින් ලද තීන්දුවක් අනුව රටේ බලය බහුතර කැමැත්ත ඇති අයකුට ලැබී ඇත.. එම බහුතරයේ සංයුතිය ගැන පැනයක් ඇතත්... එය ලැබූ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ... ඡන්දයක් පැරදුන කල සැගවී සිටින්නේ හෝ... එය හොර එකක් යැයි කියමින් ලැබූ පරාජය වසා ගන්නට තැත් කරන්නේ හෝ නැත... පැහැදිලිවම අප පරාජය වි ඇත.. මා විසින් දැරූ මතය පරාජය වී ඇත...


එනමුදු පරාජය තාවකාලික බවත්... තරඟය මෙතැනින් නොනවතින බවති කියා සිටිමි... දැන් ඇත්තේ ඔබගේ වාරයයි... මෙතෙක් කලක් පැවති පාලකයාට සහය දෙමින්.. ඔහුගෙන් වන සියළුම අඩු පාඩු වෙනුවෙන් බැනුම් අසමින් ඔහු ආරක්ෂා කර ගැනිමට අප විසින් කල කාර්යය අදින් අවසන්ව ඇත.. දැන් ඇත්තේ පත්ව ඇති පාලකයා ප්‍රශ්න කිරීමේ කාලයයි... මෙය දේශපාලනික වශයෙන් ඉතාමත් සිත් ගන්නා සුළු කාරණයකි.. ඉඳින් අද පටන් ඒ සිත් ගන්නා සුළු කාර්යයට යොමු වෙමි... අද දින මේ ප්‍රතිඵලය ලබා ගැනීමට ඇප කැප වූ ඔබ සියළු දෙනා ගෙන්ම අද ගත් තීරණය ගැන ප්‍රශ්න කරන්නට මෙතැන් පටන් අවස්ථාව උදා වී තිබේ... එහෙයින් අද මෙය ජයක් ලෙස සලකා උදම් අනන අයට... ඉදිරියේදී ඇති වගකීම ගැනත් ආදරයෙන් සිහි කැඳවමි...

දැන් අපගේ වාරය හමාර වි ඇත.. මේ ඔබලාගේ වාරයයි... එය හොඳින් ක්‍රිඩා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි... ඔබලා විසින් පත් කර ගත් නායකයා සම්බන්ධ වගකීම ඔබලා සතුය... ඔහුගේ සහ ඔහුගේ කණ්ඩායමේ ඉදිරි තීන්දු තීරන කොයි ආකාරයෙන් රටේ දියුණුවට හෝ පරිහානියට හේතු වේද.. ඒ සෑම තැනකම ඔබගේ වගකීම ඒ දේවල් හා බැඳී තිබේ... එම වගකීම දරන්නට සූදානම් වන්න... විපක්ෂයේ කාර්ය භාරය අකුරකින්වත් අඩු නැතිව කරන්නට ඔබලාට කරනා උදව්වක් සේම ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්ම උදෙසා මා පොරොන්දු වෙමි...

මහින්ද වෙනුවෙන් කඩේ ගිය මාරයාට වඩා... නිදහසක් ඇති.. සීමා මායිම් නැති අවස්ථාවක් මා ඉදිරියේ උදා වි ඇත... ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම මා අත හරින්නේ නැත... එසේ නම් ඔබලා ඔබගේ තීන්දුවට හා කැමැත්තට අනුව පත් කරගත් නායකයා නිසි දිශාවට මෙහෙයවීම කරනා අතරම.. ඔහුගේ තීන්දු තීරණ වලට වගකියන්නටත් සූදානම්ව ඇතැයි මා සිතමි... අප විසින් ඔබලාට බාර කරනු ලැබුයේ යුධ ගිනි නැති.. සාමය ඇති.. නොබෙදුනු නිවහල් රටකි.. සාධාරණ මැතිවරණයක් පවත්වන්නට පුළුවන් රටකි.. සංවර්ධනයේ අරුණළු දකිමින් සිටි රටකි.. මෙතැන් සිට ඉදිරියට විනා පසු පසට රට ගෙනයන්නට ඔබලාට අයිතියක් නැත... ඔබලා පැවසූ ඒ මෛත්‍රී යුගය... ඒ යහ පාලනය.. ඒ සංවර්ධනය.. ඒ දියුනුව මේ රටට ලබා දෙන ආකාරය අප බලා සිටිමු... එය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද පෙන්වීමට ඔබලා සූදානම් විය යුතුය... ජයග්‍රහණය අභියස ප්‍රතිවාදියාට ඔබගේ ප්‍රතිචාර දක්වන තැන සිටන්ම අප ඔබ ප්‍රශ්න කිරීමට සූදානම්ය... අප විසින් වසර ගණනක් මුළුල්ලේ කල ඒ දුෂ්කර ක්‍රියාව අද සිට ඔබ සතුය...

------------------

රයිටෝ බොක්කෙන් දීම අවසානයි.. දැන් ඉතිං සරලව කෙටියෙන්...

ඔන්න ඉතිං කාලයක් තිස්සේ ඔළුවේ තිබුන බර අවසානයි.. දැන් ඉතිං තියෙන්නේ විපක්ෂයේ වැඩ ටික.. එව්වා ඉතිං තිතට කරලා දෙන්නං... :D
එක අතකින් මේ පරාජය නිසා රටට වන හානිය ගැන සිතීම නිසා සිතට වේදනාවක් ආවත්.. අනිත් පැත්තෙන් පුදුම සැහැල්ලුවක් දැනෙනවා.. දැන් ඉතිං තියෙන්නේ ප්‍රශ්න කර කර ඉදිල්ලක් මිස උත්තර බැඳිල්ලක් නෙවෙයි කියලා මතක් වෙනකොට හිතට පවන් ගහන්නැහේ... :D :D :D

හැබැයි ඉතිං මහින්දගේ යටතේ ප්‍රශ්න කර කර ඉඳිල්ලයි.. විරෝධතා දැක්වීමයි වගේ නෙවෙයි චන්ද්‍රකාලා රනිල්ලා යටතේ ඒවා කිරිල්ල කියලා අත්දැකිම් අනුවම දන්න නිසා.. ආරස්සාවට මුල් තැන කියලා... ආරස්සාව පිණිස.. (ජේආර් පප්පා කිව්ව විදියට තමන්ගේ ආරස්සාව තමන් සතුයි නිසා ) හැකි පළමු අවස්තාවෙන්ම මමනං මේ රටින් යනවා පුතෝ... මට මේ ලෝක බෝලේ කොයි තැනට ගියත් අවුලක් නැහැ.. ආයේ දාලා යන්න බැරි රෙද්දවලුත් නැහැ... බෑග් එකට ඇදුං කෑලි දෙක තුන දාගත්තම මුළු ලෝකෙම මට ගෙදර වගේ තමා.. :D හැබැයි ඉතිං අනිත් අයටනං තම තමන්ගේ ගෙවල් දොරවල්.. දරු මල්ලෝ... රැකි රස්සා ඔය දාහක් දේ තියෙන හින්දා මේ රට පරිස්සං කර ගන්න මටත් වඩා උත්සහ කරන්ට ඕන ඔන්න...

එහෙමනං මං ගියා... :D
(යහපාලන කස්ටිය එයාපෝට් වහන එකක් නැහැ නේද අදම..? :D )

ආ අමතක උනා.. දිනුව නායකතුමා වෙච්චි මෛත්‍රී පාල සිරිසේන මහත්මයටත් මගේ සුභ පැතුම්.. ඔන්න තියෙනවා ලස්සන රටක්... සාමකාමී රටක්.. බිය සැක නැති රටක්.. උතුර දකුණ පත්තු නොවුනු රටක්... දෙයියනේ කියලා යහපාලනේ කරගෙන.. දියුණු පමුණු කරගෙන යන්ට තමා තියෙන්නේ... පොඩිත්තක් අහල පහල ඉන්න උන්දලගෙන් පරිස්සං වෙන්ට... උන්දලා ගැන මං අමුතුවෙන් කියන්ට උවමනා නැහැ නෙව... අද ඉදලා අර දින සීයත් පටන් ගන්නවනේ.. ඔන්න මංනං එයින් පිටපතකුත් හොයාගෙන ලෑස්ති වෙනවා ඔබතුමාට යහපාලනේ කරං යන්න විපස්සයක් හැටියට උදව් උපකාර කොරන්ට.. එහෙමනං දුවමු මහත්තයෝ රේස් එක... ඔබට සුභ අනාගතයක්... :D
   
 
 
http://ctkumara.blogspot.com/ ඉස්සුවෙ මාර අයියගෙන්